(Chines women body guard)චීන ස්ත්‍රී බොඩි ගාඩ් කෙනෙකුගේ කතාවක්



“මට පුළුවන් බොස්ලා එක්ක යන්න. ඒවගේම ඇස් දෙක ඇරලා ගොඩාක් දේවල් දිහා බලන්න“ විසිදෙහැවිරිදි යැන්ග් ඩොලෑන් පවසයි. ඇය චීනයේ ප්‍රවණතා සමග පෙරමුණ ගැනීමට සාමාන්‍ය ජිවිතයෙන් දුෂ්කර භූමිකාවකට පණ පෙවීම සඳහා ජීවන චක්‍රය මාරු කළ අයෙකි. වසරකට පෙරාතුව ඇය රූපලාවන්‍යය ද්‍රව්‍ය අලෙවිකරන්නියක ලෙස කටයුතු කළාය. වේෂ නිරූපණ ශිල්පිණියක ලෙසද කටයුතු කළාය. තමන්ගේ සියුම් බුරුසු,රූපලාවන්‍ය අලේපන වලට සමුදුන් ඇය නන්චකුවල සිට ගිනි අවි දක්වා අවිද, දෛනික ව්‍යායාම්වල සිට ඉතා දුෂ්කර ශාරීරික පුහුණුවීම් දක්වාද විතැන්වී සිටියි. ඇයගේ එකම අභිප්‍රාය ස්ත්‍රී බොඩි ගාඩ් කෙනෙකු හෙවත් ශරීර ආරක්ෂක නිලධාරිණියක ලෙස සේවය කිරීමයි. ඇය මේවන විට තියැන්ජියෝ ජාත්‍යන්තර ආරක්ෂක ඇකඩමියේ දුෂ්කර පුහුණු පාඨමාලාව සම්පූර්ණ කර සිටියි.



 බෙයිජිං කේන්ද්‍ර කරගත් මේ ඇකඩමියේ පුහුණු කඳවුරට සහභාගිවන පිරිස 2008 වසරේ සිට දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරන චීනයේ ප්‍රභූ පැළැන්තියට සේවා සැපයීමට සිදුව තිබේ. මඩෙහි කිමිදෙමින් දැවැන්ත සීතලේ ගැහෙමින් දුෂ්කර ශාරීරික පුහුණුවීම් මෙන්ම ගිනි අවි පුහුණුවීම්ද දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක එය සැබෑම “යක්ෂ පුහුණුවකි.“. “බොහෝ දුෂ්කර ශාරීරික ව්‍යායාම මුලදී මට කරන්න බැරිවුණා. දුවද්දී හුස්ම ගැනීම පවා අමාරුවුණා. ඒත් අවසානයේදී මට ක්‍රමයෙන් ඉලක්කය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා.“ යැන්ග් කියා සිටියි. හිටපු ශරීර ආරක්ෂක නිලධාරියෙකු මෙන්ම ඇකඩමියාවේ නිර්මාතෘ චෙං යොන්ගිං, තමන් ශරීර ආරක්ෂකයින්ගේ වෙළඳපොළ දුරතියා දුටු බවත්, එකී ඉල්ලුමට සපයන්නට සැලසුම් කළ බවත් කියා සිටියි. 2013 වන විට චීනයේ අ.ඩොලර් බිලියනපතියන් 317 දෙනෙකු බිහිවී තිබේ. ලොව පොහොසතුන්ගෙන් චීනය දෙවෙනි වන්නේ අ.එක්සත් ජනපදයට පමණි. ෆොබ් සඟරාවේ චීන ප්‍රකාශනය වන ‘‘හුරුන් වාර්තා“ ඒ බව තහවුරු කරයි. “අපි අපේ ආරක්ෂකයින්ට ලබාදෙන්නේ ශාරීරික පුහුණුව පමණක් නෙවෙයි. වයින්වල තත්ත්වය පරීක්ෂා කිරීම පවා ඊට අදාළයි. ඔවුන්ට තමන්ගේ බොස්ලා සමග වඩා හොඳ සම්බන්ධයක්,සන්නිවේදනයක් පවත්වා ගැනීමට ඒක වැදගත්.“චෙං යොන්ගිං අවධාරණය කරයි. “ඔවුන්ට ක්‍රියාකරන්නට සිදුවන්නේ බොඩිගාඩ්ලා හැටියටම නෙවෙයි. සමහර විට බොස්ගේ සහායකවරයෙකු ලෙසත් වැඩකරන්නට සිදුවේවි“ ඔහු පෙන්වාදෙන අන්දමට මෑත කාලයේ බොඩි ගාඩ්ලා ලෙස පුහුණුවීම සඳහා ඇකඩමියාවට ඇතුළුවන ස්ත්‍රීන් සංඛ්‍යාවෙහි වර්ධනයක් දක්නට ලැබෙයි. එය ඇතැම් විට පිරිමි පාර්ශවකරුවන් ඉක්මවා යන බව ඔහු තහවුරු කරයි. චීනයේ බිලියනපතියන් අතර ස්ත්‍රීන්ද සංඛ්‍යාත්මක වශයෙන් පෙරමුණ ගනිමින් සිටීම ඊට හේතුවයි. “ස්ත්‍රී බොඩි ගාඩ්ලා වැඩි වශයෙන්ම සේවය කරන්නේ බිලියන පතිනියන්ගේ ආරක්ෂක නිලධාරිණියන් වශයෙන් හෝ බිලියන පතියන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවටයි“ තවත් බොහෝ අය ස්ත්‍රී බොඩි ගාඩ්ස් ලා සේවයට ගැනීමට කැමතිවන්නේ ඔවුන් ආරක්ෂකයින් වශයෙන් කැපී පෙනීමක් නැති නිසයි. “ඒක හැංගෙන්න පහසුවක්. මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ අපි බොඩි ගාඩ්ස්ලා කියා“ යැන් පවසයි. “සමහර පුද්ගලයෝ ගොඩාක් උසයි. දැක්ක ගමන් කියන්න පුළුවන් කාගෙ හරි බොඩිගාඩ් කෙනෙක් කියලා. ඒ නිසා ස්ත්‍රීන්ට ඊට වඩා මිනිසුන් අතර සැලකිලිමත් වෙන්න පුළුවන්.“ ඇය තමන්ගේ බොස් ගැන කිසිදු තොරතුරක් අනාවරණය කිරීමට කැමැත්තක් නොදක්වයි. “විශ්වාසවන්තභාවය හැම විට රැකිය යුතුයි“ ඇය අවධාරණය කරයි. එය ඇගේ රැකියාවේ ආප්තෝපදේශයයි. ආරක්ෂකයෙකු ලෙස පුහුණුවීමට අවසන් සති තුනක කාලය තුළ පුහුණු ගාස්තුව යුවාන් 12,800 න් (අ.ඩො 2,100 න්) වැඩිකර තිබේ. එය විවිධ පළාත් හා විවිධ පවුල් පසුබිම්වලින් එන ස්ත්‍රීන්ටද පොදුය. එහෙත් ශරීර ආරක්ෂකයින් හෙවත් බොඩිගාඩ්ලා ලෙස පුහුණුවීම පහසු නොවේ. මෑත කාලීනව උපාධිධාරීන්වූ ෂු ශි සහ ශෑන් මිං දෙදෙනාම මෙම පුහුණුවට ඇතුළත් වූහ. ඊට ප්‍රථම ඔවුන් වෙළඳ ප්‍රවර්ධන නිලධාරිණියක සහ ගුරුවරික ලෙස සේවය කර තිබුණි. ෂූ, තමන් ලැබූ පුහුණුව ඉතා කටුක බව පැහැදිලි කරයි. මුල් දින කිහිපය තුළ මඩේ බඩගෑමට හා තද සීතල වතුරට පැනීමට සිදුවුණු අයුරු ඇය සිහිපත් කරයි. “මං කම්පනයට පත්වුණා. ගැහෙන්නට වුණා. අවුරුදු 18 ක් වුණු තරුණයෙක් මැදදී පුහුණුව දාල යන්න ගියා“ ඇය පවසයි. එහෙත් වෙනත් පුහුණුවන්නියන් තමාට ධෛර්ය සැපයූ බව ඇය පෙන්වාදෙයි. වාසගම පමණක් හෙළිදරව් කළ ඩොන්ග්, පවසා සිටියේ තමන් ශරීර ආරක්ෂක නිලධාරිණියක ලෙස සේවය කිරීමට මේවන විට කැමැත්තක් නොමැති වුවත් ලැබූ පුහුණුව ඉතාමත් වටින බවයි. දුෂ්කරවූත් අඛණ්ඩවූත් පුහුණුව ජීවිතයට මහඟු අත්දැකීමක් එකතු කළ බව ඇය සඳහන් කරයි. මෙම පුහුණුවට ස්ත්‍රීන්ගේ දායකත්වය වැඩිවීමට හේතු ගණනාවක් බලපාන බව චෙං පවසයි. චීනයේ බොහෝ රැකියාවන ස්ත්‍රීන්ට ලැබෙන්නේ ඉතා අඩු වැටුප් බැවින් අඩු වැටුපක සිට ඉතාමත් ඉහළ වැටුප් ලබාගැනීමට හැකිවීම, ප්‍රභූන් ඇසුරු කිරීමට ලැබීම,වැනි හේතු බොහොමයක් වුවද ඒ සියල්ලටම වැඩියෙන් බලපවත්වන්නේ අද දවසේ චීන ස්ත්‍රීන් තුළ තමන් කෙරෙහි පවත්නා ආත්ම විශ්වසය වර්ධනය වී බවයි. “සාමාන්‍යෙයන් පිරිමින් ප්‍රමුඛ කරගත් කටයුතුවල නිරතවීමට තමන්ටත් හැකියාව ඇති බවට ස්ත්‍රීන් තුළ ආත්ම විශ්වාසයක් තහවුරුවෙමින් තියෙනවා. ප්‍රධානම හේතුව ඒකයි“ චෙං අවධාරණය කරයි. ඇතැම් අය පුහුණුව අතරතුරදී එයින් ඉවත්වුවද බොහෝ ස්ත්‍රීන් එය නිමාවන තුරු අල්ලා සිටින බවත්, ස්ත්‍රීන් පිරිමින්ට වඩා දක්ෂ බව බොහෝ දෙනා විශ්වාස කරන බවත් ඔහු කියා සිටියි. අවුරුද්දක් තිස්සේ ශරීර ආරක්ෂක නිලධාරිණියක ලෙස කටයුතු කරන යෑන් පවසන්නේ තමන් දැඩි වගකීම් සහිත දුෂ්කර රැකියාව වෙනස් කිරීමට කිසිදු සූදානමක් නැති බවයි. “මගේ වගකීම ආරක්ෂා කිරීම හා වේගයෙන් ක්‍රියාත්මකවීමයි“ “මම හිතනවා මම කිසිදු වැඩකට නැති රැකියාවල හිරවෙලා සිටියා කියලා. මේක සංචාරයක්.“ ඇය අවධාරණය කරයි.


උපුටා ගැනීම :-face bookහි Sudesh Karunathilake ගෙන්

Comments