මුස්ලිම්හු ජනගහණයෙන් සිංහලුන් පරදවයිද?

මුස්ලිම්හු ජනගහණයෙන් සිංහලුන් පරදවයිද?

සිංහල ජාතිවාදීන් සුළු ජාතීන්ට එරෙහිව පතුරුවනු ලබන එක් මතයක් වන්නේ සිංහලයන්ගේ ජනගහණය අඩු වෙමින් තිබියදී මුස්ලිම් ජනගහණය වැඩිවෙමින් ඇති බවයි. දෙමළ ජනගහණය සම්බන්ධයෙන් දැන් මේ තර්කය මතු නොකෙරෙන්නේ සෑහෙන දෙමළ තරුණ පිරිසක් පසුගිය සමයේ ඝාතනයට ලක් කරන ලද බව දන්නා නිසාය.

පසුගිය දිනවල කොළඹ මුස්ලිම් ජනගහණය වැඩිවීම පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවලට ප්‍රතිචාරයක් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ මෙසේය:

"කොළඹ නගරයේ ජනගහනයෙන් වැඩිදෙනා සිංහලයන් වන නමුත්, කොළඹ සිංහල ජනගහනය සියයට 24 ට බසී" යනුවෙන් 2012.12.11 වන දින දිවයින පත්‍රයේ පළවූ ප්‍රවෘත්තියේ 2012 පූර්ව සංගණන තොරතුරු අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය සියයට 24 ක්‌, දෙමළ ජනගහනය සියය 33 ක්‌ සහ මුස්‌ලිම් ජනගහනය සියයට 40 ක්‌ ලෙස සඳහන් කර තිබීම සාවද්‍ය බවත් එම වාර්තාවේ 1971 ලෙස සඳහන් කර ඇත්තේ 1981 ජන සංගණන තොරතුරු බවත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

කොළඹ නගරය කොළඹ සහ තිඹිරිගස්‌යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකින් සමන්විත වන අතර කොළඹ නගරය ලෙස ඉහත වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයෙහි ජනගහනය වන බව එහි සඳහන් වේ. 2012 ජන සංගණනයට අනුව කොළඹ නගරයෙහි සිංහල ජනගහනය සියයට 36.8 ක්‌, දෙමළ ජනගහනය (ශ්‍රී ලංකා දෙමළ හා ඉන්දියානු දෙමළ) සියයට 31.8 ක්‌, ශ්‍රී ලංකා යෝනක ජනගහනය සියයට 29.00 ක්‌ සහ වෙනත් ජන වර්ගවලට අයත් ජනගහනය සියයට 2.4 ක්‌ සිටින බවද දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා සිටී."

ලංකාවේ ජනගහණය පිළිබඳ ඇති විධිමත් සංඛ්‍යාලේඛන අනුව ජාතීන් අනුව ජනගහණය පිළිබඳ පැහැදිලි දත්ත හමුවන්නේ 1881 ජනසංගණනය අනුවයි. එහෙත් ඒ වනවිටත් ජාතන්ගේ නූතන ස්වරූපයන් හැඩගැසෙමින් තිබිණි. නිදසුනක් ලෙස සිංහලයන් උඩරට, පහතරට ලෙස ප්‍රවර්ග දෙකක් ලෙස සැලකීමේ ප්‍රවණතාවක් සිංහලයන් තුළම පැවතිණි.

කෙසේවෙතත්, සංගණනයට අනුව 1881දී සිංහලයන්ගේ ප්‍රතිශතය 66.91%කි. 2011 සංගණනය වනවිට මෙම ප්‍රතිශතය 74.88%කි.

ශ්‍රී ලාංකික මුස්ලිමුන්ගේ ප්‍රතිශතය 1881දී 6.69%කි. 2011දී 9.23%කි.

1881දී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 24.90%කි. එය 2011 වනවිට 11.21%කි වී තිබේ.

1911 සංඛ්‍යාලේඛන අනුව ඉන්දියානු දෙමළ ජනගහණය 12.93%ක්ද, ලාංකීය දෙමළ ජනගහණය 12.86%ක්ද විය. 2011 වන විට ඉන්දියානු දෙමළ ජනගහණය 4.16%කි.

ඉහත සංඛ්‍යාලේඛන අනුව බලන කල ඉතා පැහැදිලිවම සිංහල ජනගහණයේ ප්‍රතිශතය වැඩි වී තිබේ. වෙනත් ජාතීන් සිංහල ලෙස ස්වීකරණය වීමට වැඩි නිදහසක් ලැබේනම් තත්වය තවත් වෙනස්වන්නට පුළුවන.

ආගම් අනුව ගත්තත් 1881දී 61.53%ක් වූ බෞද්ධ ප්‍රතිශතය 2012 වනවිට 70.19%ක් දක්වා වැඩිවී තිබේ.

මුස්ලිම් ජනගහණයේ සාපේක්ෂව වේගවත් වැඩිවීමක් 1981 - 2012 කාල පරිච්ඡේදය තුළ දකින්නට ලැබෙන බව සත්‍යයකි. ප්‍රතිශතය වැඩිවීම 2%කට මඳක් වැඩිය. මෙම වකවානුව තුළ සිංහල ජනගහණයේ ප්‍රතිශත වර්ධනය 1%ට අඩුය.

සිංහලයන් අතර සිය ජාතිය සම්බන්ධයෙන් භීතියක් ඇතිකරන්නට උපයෝගී කරගන්නේ මේ සංඛ්‍යාලේඛනයි. එහෙත්, ‍අප සිතන පරිදිනම් යම් ජාතියක් වඩා දියුණු තත්වයට පත්වනවිට ඉබේම ජනගහණ පාලනයක් ඇතිවන බවයි. අධික ජනගහණයක් ඇති සමාජ කණ්ඩායම් අතර දිළිඳුකමද අධිකය.

සිංහලයන්ට තම ජනගහණය වැඩි කරගන්නට අවශ්‍යනම් බොහෝ ආයතනවල මුල්පුටු හොබවන සිංහල ජාතිවාදීන්ට තම ආයතනවල සේවය කරන කාන්තාවන් මාතෘ නිවාඩු යනඑක ගැන සුබවාදී ඇසකින් බලන්නට පුළුවන. අද සිදුවන්නේ කුමක්ද?

වැඩිම කාන්තා ප්‍රතිශතයක් සහිත රජයේ වෘත්තීය ශ්‍රේණියක් වන හෙද සේවාවේ මාතෘ නිවාඩු ලබාගන්නා අයට දඬුවම් මාරු දෙන ක්‍රමයක් තිබේ. මගේ බිරිඳ හෙදියකි. අපගේ දරු දෙදෙනා වෙනුවෙන් ලබාගත් මාතෘ නිවාඩු අවසන්වී සේවයට පැමිණි අවස්ථා දෙකේම ඇය අභ්‍යන්තරිකව වඩා දුෂ්කර ස්ථානවලට මාරු කරන ලදී.

කාන්තා ප්‍රතිශතය වැඩි තවත් රැකියාවක් වන ගුරු වෘත්තියේ විදුහල්පති ප්‍රතිශතය තුළ පිරිමි ඉහළය. මගේ නිරීක්ෂණ අනුව දරුවන් ලැබීම වැඩියෙන්ම අධෙර්ය කරන ක්ෂේත්‍රයක් වන්නේ ගුරු වෘත්තියයි. රැකියා කරන කාන්තාවක් මාතෘ නිවාඩු ලැබීම වරදක් සේ සලකන තත්වයක් රැකියා සම්බන්ධයෙන් මුළු සමාජයේම තිබේ.

සිංහලයන්ට මුස්ලිමුන් සමග තරගයට දරුවන් හදමින් ජනගහණය වර්ධනය කරගන්නට අවශ්‍යනම් එය පටන්ගත යුත්තේ දිළිඳුකම පැටව්ගහන සමාජ ස්ථරවලින් නොවේ. ඉහළ ධනවත් සමාජයෙනි.

සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුත් පවුලකින් පැවත එන චම්පික රණවකට සිටින්නේ දරුවන් දෙදෙනෙකු පමණි. ඒ කසාදයත් දැන් දික්කසාද වෙලාය.

උදය ගම්මන්පිලට පවුල හා දරුවන් කෙතරම් නොවැදගත්ද යත් ඔහුගේ නිල වෙබ් අඩවියේ ඒ ගැන කිසි තොරතුරක් නැත. පවුල යනු හිස් පිටුවකි. 

මහාචාර්ය නලින් ද සිල්වාටත් පවුල විද්‍යාර්ථී පත්‍රිකා තරම්ම ොවැදගත් බව පෙේ. 

විමල් වීරවංශටනම් දරුවන්‍ දෙදෙනෙකි.

මහින්ද මහත්තයාටනම් දෙයියනේ කියලා කුමාරවරු දුසිම් කාලකි. තාම ඔවුන් කිසිවෙක් නිල වශයෙන් ජාතිය ගොඩනැඟීම ආරම්භ කර නැත.

බැසිල් මහත්තයාගේ දියණියනම් කසාද බැන්දේ ඇමරිකානු ජාතිකයෙකි. බැසිල් මහත්තයාත් ඉතින් ඇමරිකානුවෙක්නේ.

අපේ හාමුදුරුවරුන්ට නම් නිල වශයෙන් දරුවන් ඇත්තේම නැත.

මෙහෙම ජාතිය හදන්නට බැරිය. මුස්ලිමුන්ට බයනම් ෆුල්ටයිම් වැඩේට බැසිය‍ යුතුය. 

ොකර ‍ජාතිවාදී බියක් සිංහලයන් අතර පතුරුවමින් සිටින්ේ කපටීන් පිරිසක් බව අවධාරණය කළයුතුය.

Comments